ක්‍රීඩාව කියන්නේ හුදෙක් තරගයකට පමණක් සීමා නොවී, එය අපේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න ඕනෑ කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙනවා. අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා අවධාරණය කළේ, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම හරහා තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් සහ අනවශ්‍ය ඇබ්බැහිවීම්වලින් මුදාගෙන විනයගරුක අනාගතයක් නිර්මාණය කරගන්න පුළුවන් බවයි. විශේෂයෙන්ම මාර්ග අනතුරු වැනි සමාජ ප්‍රශ්නවලට විසඳුමක් විදිහට ක්‍රීඩාව යොදාගැනීමේ වැදගත්කම එතුමා මෙහිදී සිහිපත් කළා.
2028 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගෙන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ට ලෝක මට්ටමේ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ගැනත් මෙහිදී දීර්ඝව සාකච්ඡා වුණා. ඒ සඳහා අවශ්‍ය උසස් පුහුණුකරුවන් බිහි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මීට අමතරව, මන්නාරම, කිලිනොච්චිය වැනි ප්‍රදේශවල ක්‍රීඩාංගණ සංවර්ධනය සහ නවීන තාක්ෂණයෙන් යුතු ‘හයි පර්ෆෝමන්ස් සෙන්ටර්’ එකක් ස්ථාපනය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කෙරුණා. ක්‍රීඩාව ජාතික මට්ටමින් ඉහළට ඔසවා තැබීමට රජය මේ වන විටත් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback