ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වුණු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම ගණනය කරන්නේ කුමන පදනමකින්දැයි පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. රටපුරා ක්‍රියාත්මක ‘රටම එකට’ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වමින් පොලිසිය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම විමසීම සිදු කළා.
පොලිස් නිලධාරීන් පැහැදිලි කළේ, අදාළ ප්‍රදේශවල පවතින මත්ද්‍රව්‍යවල වීදි මිල අනුව මෙම වටිනාකම් තීරණය කරන බවයි. උදාහරණයක් ලෙස ගාල්ල ප්‍රදේශයේ හෙරොයින් මිලිග්‍රෑම් 70-80ක පැකට්ටුවක් රුපියල් 2,000කට අලෙවි වන බවත්, කොළඹ වැනි ප්‍රදේශවල මිල ගණන් මීට වඩා වෙනස් විය හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා. ඔක්තෝබර් 30 වැනිදා සිට ගාල්ල දිස්ත්‍රික්කයේ වැටලීම් 2,607ක් සිදු කර මත්ද්‍රව්‍ය කිලෝ 119ක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 100කට අධික පිරිසකගේ දේපළ පිළිබඳව මේ වන විටත් විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් ඔවුන් මිලදී ගත් වාහන, ඉඩකඩම් සහ අනෙකුත් වත්කම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැඩි අවධානයක් යොමු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback