ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකුට ‘විශිෂ්ට සේවා විභූෂණ’ පදක්කම් පිරිනැමීම සිදු වුණා. වසර 25කට වැඩි කාලයක් ඉතාමත් කැපවීමෙන් සහ නිර්දෝෂී සේවාවක් ඉටු කළ නිලධාරීන් වෙනුවෙන් මෙම ගෞරවනීය සම්මානය පිරිනැමෙන අතර, රටේ අසීරු අවස්ථාවන්හිදී සහ යුද සමයේදී ඔවුන් ඉටු කළ සුවිශේෂී කාර්යභාරය ජනාධිපතිවරයා මෙහිදී විශේෂයෙන් අගය කළා.
මෙම උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රටක් ලෙස ඉදිරියට යාමට නම් අභියෝග භාරගන්නා, වගකීමෙන් වැඩ කරන ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය බවයි. අද වන විට රාජ්‍ය සේවයේ පවතින පසුබෑම මඟහරවා ගැනීමට හමුදා නිලධාරීන් සතු විනය සහ වෘත්තීයභාවය විශාල ආදර්ශයක් බවත් ඔහු සඳහන් කළා. හමුදා නිලධාරීන්ගේ මෙම කැපවීම රටේ රාජ්‍ය ආයතන යළි ගොඩනැගීමට වැදගත් වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
තවද, මෙම සම්මානය හුදෙක් පුද්ගලික ජයග්‍රහණයක් ලෙස නොසලකා, එය සමාජ වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සම්මානලාභී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. රටේ රාජ්‍ය ආයතන සහ සමාජය නිවැරදි දිශාවකට ගෙන යාම සඳහා පුද්ගලික විනය සහ අවංකභාවය ඉතාමත් වැදගත් බවත්, ඒ සඳහා මෙම නිලධාරීන්ගේ දායකත්වය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළා.

Discussion & Feedback