ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් 2027 වසර සඳහා රජයේ ප්‍රධාන ආර්ථික හා සංවර්ධන ඉලක්ක පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළා. රජයේ පුනරාවර්තන වියදම් අඩු කරමින් සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන ප්‍රාග්ධන වියදම 4% සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2027 වසරේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 2ක දැවැන්ත මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙය පසුගිය වසරට සාපේක්ෂව 40%ක ඉහළ යාමක්. රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සියලුම සේවාවන් ඩිජිටල්කරණය කිරීමටත්, ඇතැම් ක්ෂේත්රවල පළපුරුදු වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමටත් රජය අවධානය යොමු කර තිබෙනවා.
තරුණ පරපුරට වැඩි රැකියා අවස්ථා උදා කර දෙන අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩනැගීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන අරමුණක්. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර මුදා ගැනීමට ක්‍රීඩාව ප්‍රබල මෙවලමක් ලෙස භාවිතා කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබා දෙන බවත් ඔහු පැවසුවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යටතේ වැටලීම් දහස් ගණනක් සිදු කර ඇති බවත් මෙහිදී සිහිපත් කළා. මීට අමතරව, ගාල්ල දිස්ත්‍රික්කය ප්‍රධාන සංචාරක හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් නිවාස, ජල සම්පාදන, මාර්ග සංවර්ධන සහ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළා.

Discussion & Feedback