ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සහ සිරගෙවල් අධිකාරිවරුන් ඇතුළු පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. මේ සාකච්ඡාවේදී රටේ බන්ධනාගාර පද්ධතිය තුළ දැනට පවතින බරපතළ ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. විශේෂයෙන්ම මෑතකදී මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා කතා කළා.
එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන් දෛනිකව මුහුණ දෙන විවිධ අභියෝග සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. තමන්ගේ ගැටලු කෙලින්ම ජනාධිපතිවරයා හමුවේ තැබීමට ලැබීම ගැන නිලධාරීන් සිය සතුට පළ කළ අතර, මෙවැනි අවස්ථාවක් ලැබීම ඉතා වැදගත් බව ඔවුන් පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Discussion & Feedback