ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අලුතින්ම එකතු වෙන්න යන අට මහල් හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (16) ආරම්භ වුණා. ජපාන රජයේ සහ ජයිකා (JICA) ආයතනයේ මූල්‍ය ආධාර මත රුපියල් මිලියන 2,403ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා මට්ටමේ පැවති මෙම ව්‍යාපෘතිය, රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මීට පෙර අත්හිටුවා තිබුණත්, මේ වන විට එය යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්. 2028 වසරේ මැයි මාසය වන විට මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
මෙම නවීන පහසුකම් සහිත ඒකකය තුළ අති නවීන ශල්‍යාගාර, බාහිර හා අභ්‍යන්තර රෝගී ප්‍රතිකාර අංශ මෙන්ම හෘද රෝග හඳුනාගැනීම සඳහා අවශ්‍ය සියලුම නවීන උපකරණ සහිත රසායනාගාරත් ස්ථාපිත කරනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින පමණක් සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ රුපියල් මිලියන 7,100ක වටිනාකමකින් යුත් ඉදිකිරීම් ව්‍යාපෘති හතරක් ආරම්භ කළ බවයි. ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ජපානය සැමවිටම කැපවී සිටින බවයි. මෙම ව්‍යාපෘතිය නිම වූ පසු ත්‍රිකුණාමලය ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවට හෘද රෝග සඳහා ඉතා උසස් මට්ටමේ ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.

Discussion & Feedback