මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අති උත්කර්ෂවත් අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (27) රාත්‍රියේ මහනුවර වීදි ඔස්සේ ගමන් කළා. මේ අසිරිමත් දසුන දැක බලා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්. දහස් සංඛ්‍යාත බැතිමතුන් සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම පෙරහැර මංගල්‍යය මෙවරත් ඉතාමත් අලංකාරවත් ලෙස පැවැත්වුණා.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. මීට අමතරව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය හර්ෂ සුරංග, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ද, විදේශීය තානාපතිවරුන් සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් පැවති මෙම පෙරහැර මංගල්‍යය, අපේ රටේ සංස්කෘතික උරුමය ලොවටම කියාපාන කදිම අවස්ථාවක් වුණා. දළදා වහන්සේගේ ආශිර්වාදය පතා පැමිණි ජනතාවගේ භක්තියෙන් මහනුවර නගරයම පිරී ඉතිරී ගොස් තිබුණා. ඉතාමත් සාමකාමීව සහ විචිත්‍රවත්ව පැවති මෙම පෙරහැර මංගල්‍යය මෙවරත් අති සාර්ථකව නිමාවට පත් වුණා.

Discussion & Feedback