විදෙස් රැකියා අවසන් කර නැවත මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, දැනට නිසි ප්‍රයෝජනයට නොගන්නා රජයේ ඉඩම් හඳුනාගෙන, එම ඉඩම් ආයෝජන කටයුතු සඳහා ඔවුන්ට ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ව්‍යාපෘති සහාය ලබා දීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සමාලෝචනය කරමින්.
මෙහිදී මලයාලම් ප්‍රජාව වෙනුවෙන් ඉදිකරන නිවාස 10,000 ව්‍යාපෘතිය නියමිත කාලයට අවසන් කර ජනතාවට ලබා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ වගේම තේ, පොල්, රබර් ඇතුළු වැවිලි ක්ෂේත්රයේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, විශේෂයෙන්ම රාජ්‍ය වැවිලි සමාගම් කිහිපයක් ලාභ ලබන තත්ත්වයට පත්වීම සතුටට කරුණක් බවත් සාකච්ඡා වුණා. තේ කුඩා තේ වතු හිමියන්ගේ වගාවන් නඟා සිටුවීමට සහ ‘තේ ගම්මාන 500’ ව්‍යාපෘතිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සමඟ සම්බන්ධ කර වේගවත් කිරීමටත් මෙහිදී උපදෙස් ලැබුණා. විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල පවතින දුර්වලතා මඟහරවා ගනිමින්, වෙන් කර ඇති මුදල් නිසි ලෙස රටේ සංවර්ධනයට යොදා ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

Discussion & Feedback