රටේ ආර්ථික අර්බුදය නිසා 2022 වසරේදී අතරමග නතර වුණු සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් හඳුනාගත් ජනතාවගේ හදිසි අවශ්‍යතාවලට මුල්තැන දිය යුතු බවයි. ඒ වගේම, නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘති අවසන් කර ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් ලබා දීමේ වැදගත්කම ගැනත් එතුමා පෙන්වා දුන්නා.
මෙහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල-ගලේවෙල කොටස, රුවන්පුර අධිවේගී මාර්ගය සහ කඩවත-මීරිගම කොටස ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති රැසක ප්‍රගතිය ගැනත් දීර්ඝව සාකච්ඡා වුණා. විශේෂයෙන්ම වසර 15කට වඩා කාලයක් ප්‍රතිසංස්කරණය නොකළ A සහ B ශ්‍රේණියේ මාර්ග 130ක් පමණ පවතින බවත්, ඒවා කඩිනමින් පිළිසකර කළ යුතු බවත් මෙහිදී අනාවරණය වුණා. ඊට අමතරව, රථවාහන කළමනාකරණය දියුණු කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් රථවාහන පද්ධතියක් හඳුන්වා දීමටත්, කුඩා මාර්ගවල වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමේ හැකියාව ගැනත් අවධානය යොමු වුණා. රටේ මාර්ග පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජනතාවට පහසු ගමනාගමනයක් සහතික කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Discussion & Feedback