ජර්මනියේ සුපිරි මෝටර් රථ නිෂ්පාදක Porsche සමාගම විසින් ඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Tata Consultancy Services (TCS) සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 1.46ක දැවැන්ත ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. වසර පහක කාලයක් සඳහා ක්‍රියාත්මක වන මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය හරහා Porsche සමාගම තම නිෂ්පාදන ක්‍රියාවලිය, ඉංජිනේරු කටයුතු සහ පාරිභෝගික සේවා අංශයන් සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය බහුලව යොදා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව, අනාගත මෝටර් රථ තාක්ෂණය සහ මෘදුකාංග මත පදනම් වූ ගමනාගමන වේදිකා සංවර්ධනය කිරීමත් මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වෙනවා.
මෙම ගිවිසුමේ තවත් වැදගත් කොටසක් ලෙස, Porsche සමාගමට අයත් MHP නම් මෝටර් රථ සහ තොරතුරු තාක්ෂණ උපදේශන අනුබද්ධ ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 373කට මිලදී ගැනීමට TCS සමාගම කටයුතු කරනවා. ඉදිරි මාස තුන හතරක කාලය තුළ මෙම අත්පත් කර ගැනීම අවසන් කිරීමට නියමිතයි. දැනට පවතින දැඩි තරඟකාරීත්වය, විදුලි වාහන නිෂ්පාදනය සඳහා යන අධික පිරිවැය සහ චීන මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එල්ල වන බලපෑම් හමුවේ Porsche සමාගම තම ආයතනික ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමට ගෙන ඇති පියවරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුළ කෘත්‍රිම බුද්ධිය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, TCS සමාගමට ලැබුණු මෙම අවස්ථාව ඔවුන්ගේ ව්‍යාපාරික ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසයි විචාරකයින් දකින්නේ. මෙම හවුල්කාරිත්වය හරහා ඉදිරියේදී මෝටර් රථ ක්ෂේත්රයේ විශාල වෙනස්කම් රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback