දැනට ලොව පුරා සිටින මෘදුකාංග ඉංජිනේරුවන් අතර ඉතාමත් ජනප්‍රිය ‘Ollama’ නම් විවෘත මූලාශ්‍ර (Open Source) AI මෙවලම, මෑතකදී ඩොලර් මිලියන 65ක දැවැන්ත ආයෝජන වටයක් සාර්ථකව අවසන් කර තිබෙනවා. Theory Ventures ආයතනය විසින් මෙහෙයවනු ලැබූ මෙම වටයත් සමඟ සමාගම මේ වන විට ලබාගෙන ඇති මුළු ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 88ක් දක්වා ඉහළ ගොස් තියෙනවා. 2023 වසරේදී ආරම්භ කළ මෙම මෙවලම මගින් ඕනෑම කෙනෙකුට තමන්ගේ පෞද්ගලික පරිගණකය තුළ ඉතා පහසුවෙන් AI මාදිලි ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ වන විට මිලියන 8.9කට අධික පිරිසක් මාසිකව Ollama භාවිතා කරන අතර, Fortune 500 සමාගම්වලින් 85%ක්ම මේ වන විටත් එය සිය වැඩකටයුතු සඳහා යොදාගන්නවා.
Ollama නිර්මාතෘවරුන් වන ජෙෆ් මෝගන් සහ මයිකල් චියැං මීට පෙර Docker Desktop වැනි සාර්ථක නිර්මාණ සිදුකළ අයයි. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ සංකීර්ණ AI මාදිලි සාමාන්‍ය පරිගණකවලට ගෙන ඒමයි. විශේෂයෙන්ම විශාල සමාගම්වලට තම වියදම් පාලනය කරගැනීම සඳහා මෙම විවෘත මූලාශ්‍ර මාදිලි වෙත යොමුවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වෙලා. මේ වන විට සේවකයින් 14 දෙනෙකුගෙන් පමණක් සමන්විත කුඩා කණ්ඩායමක් සමඟින් Ollama ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන තාක්ෂණික මෙවලමක් බවට පත්ව තිබීම ඇත්තටම පුදුම සහගතයි. ඉදිරියේදී AI ක්ෂේත්රයේ තවත් බොහෝ වෙනස්කම් සිදුකිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback