දැන් අපේ රටේ බස් නැවතුම්පොළවල් අසල වාහන නවත්වලා තියෙන එක හරිම සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි මේ නිසා බස් රථවලට මගීන් නංවා ගන්න හෝ බස්සන්න බැරුව පාර මැද නතර කරන්න සිද්ධ වෙනවා. මේකෙන් ලොකු රථවාහන තදබදයක් ඇති වෙනවා වගේම මගීන්ගේ ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් එල්ල වෙනවා. විශේෂයෙන්ම රෝද පුටු භාවිතා කරන අයට බස් රථයකට ගොඩ වෙන්න මේ වගේ අවහිරතා නිසා ලොකු අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා තමයි පොලිසිය තීරණය කරලා තියෙන්නේ බස් නැවතුම්පොළවල් අවහිර කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්න.
රජයේ ගැසට් නිවේදනයකට අනුව බස් නැවතුම්පොළකට ඇතුළු වන ස්ථානයේ මීටර් 30ක් ඇතුළත සහ පිටවන ස්ථානයේ මීටර් 15ක් ඇතුළත වාහන නවත්වන්න තහනම්. ඒ වගේම බස් බොක්කක් තියෙන තැනක නම් ඇතුළු වන පැත්තේ මීටර් 15ක් සහ පිටවන පැත්තේ මීටර් 10ක් ඇතුළත වාහන නවත්වන්න බැහැ. මේ නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න කියලා දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනටමත් උපදෙස් දීලා තියෙනවා.
මගීන්ගේ ආරක්ෂාව සහ බස් රථවලට බාධාවකින් තොරව ගමන් කරන්න ඉඩ සලසන්න තමයි මේ පියවර ගන්නේ. ඒ නිසා රියදුරු මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ බස් නැවතුම්පොළවල් නිදහස්ව තියන්න සහ නීතියට ගරු කරමින් වාහන නවත්වන්න කියලා. නැත්නම් නීතියේ රැහැනට හසු වෙලා දඩ කන්න සිද්ධ වෙයි කියලා අමතක කරන්න එපා.

Discussion & Feedback