මෑතකදී දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයාගත් ගිනි අවි තොගයට සමාන තවත් දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවි දෙකක් මෝදර ප්‍රදේශයෙන් සොයාගන්න පොලිසියට පුළුවන් වෙලා තියෙනවා. මේ අවි දෙක සොයාගෙන තියෙන්නේ විදේශගතව සැඟවී සිටින බවට සැක කෙරෙන ප්‍රබල අපරාධකරුවෙක් වන ‘මෝදර නිපුන’ගේ සහෝදරයා වන ‘මෝදර චතුර’ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මතයි. මෑතකදී ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ මොහුව මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත පොලිසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් ඉන්නවා.
පොලිස් නිලධාරීන් පවසන විදිහට මේ සොයාගත් අවි දෙක ‘ටී-කැටා’ වර්ගයට අයත් ඒවා වෙනවා. මේ වන විට සොයාගෙන තියෙන සියලුම ගිනි අවි එකම පුද්ගලයෙක් විසින් නිෂ්පාදනය කර ඇති බවටයි විමර්ශන අංශ සැක පළ කරන්නේ. මේ නිසා එම අවි නිෂ්පාදකයා කවුද කියලා හොයාගෙන ඔහුව අත්අඩංගුවට ගන්න පුළුල් පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා.
පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියන විදිහට, රට පුරා සිදුකළ වැටලීම් නිසා නීතිවිරෝධී ගිනි අවිවල හිඟයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපරාධකරුවන් මේ විදිහට දේශීයව අවි නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබිලා තියෙනවා. කොහොම වුණත්, මේ ජාවාරම මුලිනුපුටා දැමීමට පොලිසිය දැඩි උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.

Discussion & Feedback