ශ්‍රී ලංකා පොලිසිය විසින් ශරීරයේ පැළඳිය හැකි කැමරා 500ක් මිලදී ගැනීමට අදාළව සිදුකරන ටෙන්ඩර් ක්‍රියාවලියේ කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැති බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා. ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් නගා ඇති චෝදනා පදනම් විරහිත සහ සත්‍යතාවක් නොමැති ඒවා බවයි ඔවුන් අවධාරණය කරන්නේ. මෙම මිලදී ගැනීම සිදුකරන්නේ පොලිස්පතිවරයා විසින් පත්කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ගණකාධිකාරීවරයෙක් සහ ගැසට් නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක ඒකමතික නිර්දේශය මත බවත්, මෙහිදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නීති රීතිවලට අනුකූලව කටයුතු කර ඇති බවත් පොලිසිය පෙන්වා දෙනවා.
මෙම ටෙන්ඩර් පටිපාටිය ඉතා විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවත්, කිසිදු පාර්ශ්වයකට වාසි වන පරිදි කාලසීමාවන් වෙනස් කර නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. දැනටමත් ලංසු ඉදිරිපත් කිරීමේ කාලසීමාවන් කිහිප වරක්ම දීර්ඝ කර ඇත්තේ තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් බවයි ඔවුන් පවසන්නේ. දැනට කිසිදු සැපයුම්කරුවෙකු තෝරාගෙන හෝ කොන්ත්‍රාත්තුවක් ලබාදී නොමැති අතර, තවමත් ඇගයීම් කටයුතු සිදුවෙමින් පවතිනවා. යම් අයෙකුට මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලුවක් හෝ සැකයක් තිබේ නම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට අවස්ථාව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

Discussion & Feedback