එඹිලිපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 130කට වඩා වටිනා දේපළ දෙකක් පොලිසිය විසින් තහනම් කිරීමට පියවර අරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් එඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුවයි මෙම පරීක්ෂණ ආරම්භ වුණේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මේ දේපළ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර, සැකකරුවන් දෙදෙනෙකුට සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ.
පොලිසිය පවසන විදිහට, තහනම් කරපු පළමු දේපළ එඹිලිපිටිය කාවන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි අක්කරයකට සහ රූඩ් දෙකකට ආසන්න ඉඩමක් සහිත දෙමහල් නිවසක්. එහි වටිනාකම රුපියල් මිලියන 70ක් විතර වෙනවා. දෙවැනි දේපළ එඹිපිටිය නව නගරයේ බිම්බදුයාය ප්‍රදේශයේ පිහිටි පර්චස් 23.7ක ඉඩමක් සහිත දෙමහල් නිවසක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 60ක් ලෙස ගණන් බලා තියෙනවා.
මෙම දේපළ සම්බන්ධයෙන් ඕනෑම ගනුදෙනුවක් සිදු කිරීම සැප්තැම්බර් 07 වැනිදා සිට දින 14ක කාලයකට තහනම් කරමින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නියෝග නිකුත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී වත්කම් හඳුනාගෙන ඒවා රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී තවත් මෙවැනි වැටලීම් සිදු වීමට ඉඩ තියෙනවා.

Discussion & Feedback