මේ දවස්වල බන්ධනාගාරවල තියෙන අධික තදබදය අඩු කරගන්න විවිධ පියවර ගන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පාලන, අධිකරණ සහ සිවිල් ආරක්ෂක කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු ප්‍රමාද වීම නිසා සැකකරුවන් විශාල පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරවල ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ප්රශ්නය විසඳන්න නම් රජයේ රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබාගන්න ඕන කියන එක තමයි කාරක සභාවේ අදහස වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් පොලිසිය ඇතුළෙම නවීන තාක්ෂණයෙන් යුත් රස පරීක්ෂණාගාරයක් පිහිටුවන්නත් මෙහිදී යෝජනා වුණා.
ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලගන්න විතරක් නෙවෙයි, ඔවුන්ගේ නීතිවිරෝධී මුදල් ගනුදෙනු නවත්වන්නත් නවීන තාක්ෂණය පාවිච්චි කරන්න ඕන කියලා කාරක සභාව අවධාරණය කළා. විශේෂයෙන්ම දුරකථන සමාගම් හරහා සිදුවෙන මුදල් හුවමාරු ක්‍රම වැරදි විදිහට පාවිච්චි කරන එක නවත්වන්න ක්‍රමවත් නීති පද්ධතියක් ඕන කියලත් කතා වුණා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයව හිරේ යවනවා වෙනුවට ඔවුන්ව සමාජගත කරන පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කරන්නත්, පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා දියුණු කරන්නත් මෙහිදී අවධානය යොමු වුණා. මේ සාකච්ඡාවට වැඩබලන පොලිස්පතිතුමා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසකුත් සහභාගි වුණා.

Discussion & Feedback