ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය මේ වසරේ අගෝස්තු 18 වැනිදා සිට 28 වැනිදා දක්වා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අගෝස්තු 18 සිට 22 දක්වා කුඹල් පෙරහැරත්, 23 සිට 27 දක්වා රන්දෝලි පෙරහැරත් වීදි සංචාරය කරන අතර, අගෝස්තු 28 වැනිදා දහවල් පෙරහැරින් උත්සවය අවසන් වෙනවා. මේ කාලසීමාව තුළ මහනුවර නගරයට එන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වෙන්නේ.
මේ සඳහා පොලිස් නිලධාරීන් 6,200ක්, විශේෂ කාර්ය බලකායේ 564ක්, ත්‍රිවිධ හමුදාවේ 1,200ක් සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 29ක් ඇතුළු විශාල පිරිසක් යොදවන්න පොලිසිය කටයුතු කරලා තියෙනවා. මහනුවර නගරයට ඇතුළු වන ස්ථාන 14ක මාර්ග බාධක දමා පරීක්ෂා කිරීම් සිදු කරන අතර, සැහැල්ලු වාහන සඳහා ස්ථාන 6ක් සහ බර වාහන සඳහා ස්ථාන 7ක් ලෙස වාහන නැවැත්වීමේ ස්ථාන 13ක් වෙන් කරලා තියෙනවා. රථවාහන තදබදය අවම කරගන්න විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පෙරහැර නරඹන්න එන බැතිමතුන්ගෙන් පොලිසිය විශේෂයෙන් ඉල්ලා සිටින්නේ අපේ ජාතික සංස්කෘතියට ගරු කරමින්, පරිසරය පිරිසිදුව තබා ගැනීමට සහ රාජකාරියේ නිරත නිලධාරීන්ට උපරිම සහයෝගය ලබා දෙන්න කියලයි. නගරයේ ආරක්ෂාව සහ මහජනතාවගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක මේ විශේෂ සැලැස්මට අනුව කටයුතු කිරීමෙන් ඔබට බාධාවකින් තොරව පෙරහැර නැරඹීමේ අවස්ථාව උදා කරගන්න පුළුවන්.

Discussion & Feedback