ඇමරිකාවේ මියාමි ගුවන්තොටුපළේදී සිදුවූ ඇමසන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඇමරිකානු ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය නිකුත් කළ දත්තවලට අනුව, යානය ගොඩබෑමට උත්සාහ කරන අවස්ථාවේදී එහි වේගය අධික බව එක් නියමුවෙක් අනෙක් නියමුවාට කිහිප වතාවක්ම පවසා තිබෙනවා. නමුත් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැති බවත්, ඒ අතරතුර යානයේ උන්නතාංශය පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී ඇති බවත් විමර්ශනවලදී හෙළි වුණා. පැයට කිලෝමීටර් 292ක වේගයකින් යානය ගොඩබෑමට උත්සාහ කිරීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
මෙම අනතුරින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. යානය ධාවන පථයෙන් ඉවතට පැන ගොඩබිම තිබූ වාහන කිහිපයක ගැටීමෙන් පසුවයි ගිනිගෙන විනාශ වුණේ. ගුවන් යානය ගොඩබෑමට අවශ්‍ය වන පියාපත්වල කොටස් (flaps) නිසි වේලාවට ක්‍රියාත්මක නොවීමත් මෙම අනතුරට හේතුවක් වෙන්න ඇති බවට සැකයක් පවතිනවා. යානය වේගයෙන් ධාවන පථය පසුකර ගොස් වැටක්ද කඩාගෙන ගොස් වාහනවල ගැටී නතර වී තිබුණා. මේ වන විට මියගිය පිරිස හඳුනාගෙන ඇති අතර, ඔවුන් ගුවන් යානය පිරිසිදු කිරීමේ කණ්ඩායමක සාමාජිකයන් බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Discussion & Feedback