හොලිවුඩ් සිනමාවේ විකට චරිත නිරූපණයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ප්රවීණ නළු පීටර් වෑන් නෝර්ඩන් වයස අවුරුදු 75ක්ව තිබියදී අභාවප්රාප්ත වෙලා. ඔහු මිය යන විට දකුණු කැලිෆෝනියාවේ පිහිටි රෝහලක ප්රතිකාර ලබමින් සිටි අතර, ඔහුගේ බිරිඳ වෙන්ඩි ද අවසාන මොහොතේ ඔහු අසලම රැඳී සිටි බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ පැවති සෞඛ්ය ගැටලු කිහිපයක් නිසා ඔහු පීඩා විඳිමින් සිට තිබෙනවා.
1950 වසරේ නිව්යෝර්ක් නුවර උපත ලැබූ පීටර්, සිය රංගන දිවිය ආරම්භ කළේ 1979 වසරේදීයි. ඔහු ‘Police Academy 2: Their First Assignment’ චිත්රපටයේ ‘ඔෆිසර් විනී ෂ්ටුල්මන්’ ලෙස රඟපාමින් ලොව පුරා ප්රේක්ෂකයන් අතර කැපී පෙනෙන නළුවෙක් බවට පත් වුණා. ඒ වගේම ‘The Naked Gun 2½’ චිත්රපටයේ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ කාර්ය මණ්ඩල ප්රධානියා ලෙස ඔහු කළ රංගනය බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබෙනවා. සිනමාවට අමතරව ‘Cheers’, ‘ER’ සහ ‘9-1-1’ වැනි ජනප්රිය රූපවාහිනී කතාමාලා රැසකටම ඔහු සිය දායකත්වය ලබා දී තිබෙනවා.
කෝල්ගේට් විශ්වවිද්යාලයෙන් උපාධිය ලබා ගත් පීටර්, දශක ගණනාවක් පුරා හොලිවුඩයේ විවිධ චරිත ඔස්සේ සිය දක්ෂතාවය පෙන්වූ නළුවෙක්. ඔහු මිය යන විට බිරිඳ වෙන්ඩි සහ පුත් රොබට් යන අයව අසරණ කරමින් මෙලොව හැර ගියා. ඔහුගේ වියෝව හොලිවුඩ් සිනමාවට මෙන්ම ඔහුගේ රසිකයන්ටත් ලොකු පාඩුවක් බවයි බොහෝ දෙනා සමාජ මාධ්ය ඔස්සේ පවසන්නේ.

Discussion & Feedback