පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලාට එරෙහිව පනවා තිබූ වසර 15ක සිරදඬුවම එරට ව්‍යවස්ථාදායක අධිකරණය විසින් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. 2011 සිට 2016 දක්වා පේරු රාජ්‍යය පාලනය කළ හුමාලා, සිය මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමක් වන ‘ඔඩෙබ්රෙච්’ ආයතනයෙන් සහ වෙනිසියුලාවේ හිටපු ජනාධිපතිවරයාගෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබුණා. කෙසේ වෙතත්, මෙම නඩු විභාගය මුල සිටම දේශපාලන පළිගැනීමක් බව හුමාලා සහ ඔහුගේ බිරිඳ නදීන් හෙරේඩියා දිගින් දිගටම ප්‍රකාශ කළා.
අධිකරණයේ නවතම තීන්දුවත් සමඟ හුමාලාගේ නීතිඥවරයා පවසන්නේ මැතිවරණ ව්‍යාපාර සඳහා ලැබුණු එම දායකත්වයන් මුදල් විශුද්ධිකරණයක් ලෙස සැලකිය නොහැකි බවයි. ඒ අනුව, ඔහුව වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිඥවරුන් ඉල්ලා සිටිනවා. හුමාලාගේ බිරිඳ නදීන් හෙරේඩියාට ද මෙම නඩුව සම්බන්ධයෙන්ම සිරදඬුවම් නියම වී තිබූ අතර, ඇය මේ වන විට බ්‍රසීලයේ දේශපාලන රැකවරණ ලබා සිටිනවා. පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරුන් රැසක්ම මෙම ‘ඔඩෙබ්රෙච්’ දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති අතර, හුමාලාගේ නිදහස් වීම එරට දේශපාලන ක්ෂේත්රයේ විශාල කතාබහකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback