ප්‍රංශයේදී මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වී වසර පහක සිරදඬුවමක් විඳි පුද්ගලයෙකු මේ වන විට බ්‍රිතාන්‍යයේ ලෙස්ටර්ෂයර් ප්‍රදේශයේ සැඟවී ජීවත් වන බව බීබීසී පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ‘පාෂා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධව සිටි ඉරාක කුර්දි ජාතික ට්වානා ජමාල්, ප්‍රංශයේ සරණාගත කඳවුරුවල සිටි ප්‍රබලම මිනිස් ජාවාරම්කරුවෙකු ලෙසයි සැලකෙන්නේ. ඔහු සතියකට පවුම් ලක්ෂයක පමණ මුදලක් උපයා ගනිමින් නීතිවිරෝධී ලෙස සංක්‍රමණිකයන් ප්‍රංශයේ සිට බ්‍රිතාන්‍යයට ප්‍රවාහනය කර තිබෙනවා. මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ රැකවරණය පතා අයදුම් කරමින් නීතිවිරෝධී රැකියාවල නිරත වන බවයි වාර්තා වන්නේ.
බීබීසී මාධ්‍යවේදීන් ඔහුව හමුවූ අවස්ථාවේදී ඔහු තමන් කරන ලද වැරදි ප්‍රතික්ෂේප කළ අතර, තමන් සරණාගතභාවය ලබාගැනීමට බලා සිටින බව පවසා තිබෙනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු වෙනත් රටවල අපරාධ වාර්තා පරීක්ෂා කිරීමේ දුෂ්කරතා මතු වී ඇති බව බලධාරීන් පවසනවා. ජමාල් වැනි අපරාධකරුවන් ව්‍යාජ නම් භාවිතා කරමින් බ්‍රිතාන්‍යයට ඇතුළු වී සිටීම එරට දේශසීමා ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් මතු කර තිබෙනවා. තමන්ට කිසිවෙකුත් බිය විය යුතු නැති බවත්, පොලිසිය පවා තමන්ව නවත්වන්නේ නැති බවත් ඔහු උදම් අනමින් පවසා තිබීම විශේෂත්වයක්.
මෙම සිදුවීම මගින් බ්‍රිතාන්‍යයේ පවතින සංක්‍රමණික නීතිවල ඇති හිඩැස් සහ විදේශීය අපරාධකරුවන් හඳුනාගැනීමේ පවතින දුර්වලතා මනාව පැහැදිලි වෙනවා. දැනටමත් මෙවැනි ජාවාරම්කරුවන් විසි දෙනෙකුට වඩා බ්‍රිතාන්‍යයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ව්‍යාජ අනන්‍යතා භාවිතා කරමින් සරණාගතභාවය ඉල්ලා සිටින බවයි හෙළි වී ඇත්තේ.

Discussion & Feedback