ප්‍රංශයේදී මිනිස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වී වසර පහක සිරදඬුවමක් විඳි පුද්ගලයෙක් මේ වන විට බ්‍රිතාන්‍යයේ ලෙස්ටර්ෂයර් ප්‍රදේශයේ සැඟවී ජීවත් වන බව බීබීසී මාධ්‍ය වාර්තා කරනවා. ‘පාෂා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධව සිටි ඉරාක කුර්දි ජාතික ට්වානා ජමාල් නමැති මෙම පුද්ගලයා, මීට වසර කිහිපයකට පෙර ප්‍රංශයේ සිට බ්‍රිතාන්‍යයට නීතිවිරෝධී ලෙස සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරමින් සතියකට පවුම් ලක්ෂයක පමණ ආදායමක් උපයා ඇති බවයි හෙළි වී තිබෙන්නේ. ඔහු මේ වන විට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතමින් නීතිවිරෝධී ලෙස රැකියාවල නිරත වන බවත්, රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහන පදවන බවත් බීබීසී ගවේෂණයේදී අනාවරණය වුණා.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු වෙනත් රටවලින් පැමිණෙන අපරාධකරුවන්ගේ පසුබිම පරීක්ෂා කිරීමේදී බරපතළ ගැටලු මතු වී ඇති බව ආගමන විගමන නිලධාරීන් පවසනවා. ජමාල් වැනි අපරාධකරුවන් ව්‍යාජ නම් භාවිතා කරමින් එරටට ඇතුළු වී රැකවරණ පතන අවස්ථා විස්සකට වඩා බීබීසී පරීක්ෂණයේදී හඳුනාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය නීතියට අනුව වසරකට වැඩි කාලයක් විදේශයක සිරදඬුවම් විඳි අයෙකුට රැකවරණ ලබා දීම තහනම් වුවත්, ජමාල් වැනි අය ව්‍යාජ අනන්‍යතා භාවිතා කිරීම නිසා නීතියේ හිඩැස්වලින් රිංගා යාමට සමත් වී තිබෙනවා. තමන්ට කිසිවෙකුත් අත තැබිය නොහැකි බවත් පොලිසිය පවා තමන්ව නවත්වන්නේ නැති බවත් ඔහු පවසා තිබීම බ්‍රිතාන්‍යයේ දේශසීමා ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කර තිබෙනවා.

Discussion & Feedback