පාපන්දු ක්රීඩාවේ අමරණීය නාමයක් වන බ්රසීලයේ සුපිරි ක්රීඩක පීලේ, 1958 ලෝක කුසලාන අවසන් තරගයේදී පැළඳ සිටි කමිසය නිව්යෝර්ක් නුවර පැවති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 4.9ක දැවැන්ත මුදලකට අලෙවි වී තිබෙනවා. සොතබිස් ආයතනය විසින් සංවිධානය කළ මෙම වෙන්දේසියේදී, පීලේගේ මෙම කමිසය සඳහා ලංසුකරුවන් පස් දෙනෙකුගෙන් ලංසු දහයක් ලැබී ඇති අතර, මෙය පීලේගේ ක්රීඩා භාණ්ඩයක් වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම මිල ලෙස වාර්තා වෙනවා. මීට වසර විස්සකට පෙර, එනම් 2004 වසරේදී මෙම කමිසය ඩොලර් 105,600කට අලෙවි වී තිබීම විශේෂත්වයක්.
එදා 17 හැවිරිදි වියේ පසුවූ පීලේ, ස්වීඩනයට එරෙහිව පැවති එම අවසන් තරගයේදී ගෝල දෙකක් ලබා ගනිමින් සිය පළමු ලෝක කුසලාන ජයග්රහණය තහවුරු කර ගත්තා. ලෝක කුසලාන අවසන් තරගයකදී ගෝලයක් ලබාගත් ලාබාලතම ක්රීඩකයා ලෙස පීලේ තවමත් එම වාර්තාව තමන් සතු කරගෙන සිටිනවා. ක්රීඩා ලෝලීන් අතර අතිශය ජනප්රිය වූ මෙම වෙන්දේසියේදී, දියේගෝ මැරඩෝනාගේ නායකත්ව පටිය සහ ලියොනල් මෙසීගේ කමිසයක් ඇතුළු තවත් වටිනා පාපන්දු සිහිවටන රැසක් අලෙවි වුණා. කෙසේ වෙතත්, පාපන්දු ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ කමිසය ලෙස තවමත් සටහන් වන්නේ 1986 ලෝක කුසලාන තරගාවලියේදී මැරඩෝනා පැළඳි කමිසයයි.

Discussion & Feedback