පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාවේ මේ දිනවල දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ ප්රදේශ කිහිපයකට ගුවන් ප්රහාර සහ ගොඩබිම් ප්රහාර එල්ල කිරීම නිසා සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. පාකිස්ථාන බලධාරීන් පවසන්නේ තමන් මේ ප්රහාර එල්ල කළේ තමන්ගේ රට තුළ සිදුවන ත්රස්තවාදී ප්රහාරවලට ප්රතිචාර දැක්වීමක් විදිහට බවයි. ඔවුන් පවසන විදිහට මේ ප්රහාරවලින් ත්රස්තවාදීන් 29 දෙනෙක් මියගිහින් තියෙනවා.
නමුත් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය මේ සිදුවීම දැඩි ලෙස හෙළා දකිනවා. ඔවුන් පවසන්නේ පාකිස්ථානය එල්ල කළ මේ ප්රහාරවලින් සිවිල් වැසියන්ගේ නිවාසවලට හානි සිදුවී ඇති බවත්, මෙය අමානුෂික ක්රියාවක් බවත්ය. මේ ප්රහාරවලින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි තලේබාන් බලධාරීන් සඳහන් කරන්නේ. පාකිස්ථානය දිගින් දිගටම චෝදනා කරන්නේ ඇෆ්ගනිස්ථානය තුළ ත්රස්තවාදීන් සැඟවී සිටින බවයි, නමුත් තලේබාන් පාලනය එම චෝදනා තරයේ ප්රතික්ෂේප කරනවා.
කරාචි නුවරදී පාකිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් මියගිය ප්රහාරයකින් පසුවයි මේ තත්ත්වය තවත් උග්ර වුණේ. දෙරට අතර මීට පෙරත් මෙවැනි ගැටුම් ඇතිවී තිබුණත්, සාම ගිවිසුම් හරහා ඒවා විසඳා ගැනීමට උත්සාහ කළත් ඒවා සාර්ථක වෙලා නැහැ. මේ වන විට දේශසීමාවේ පවතින තත්ත්වය ඉතාමත් අවිනිශ්චිතයි. දෙරටේම බලධාරීන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින අතර, මේ ගැටුම් නිසා අහිංසක සිවිල් වැසියන් විශාල පිරිසක් දිනෙන් දින පීඩාවට පත්වෙනවා.

Discussion & Feedback