පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ප්රධාන පෙළේ රෝහලක මාතෘ වාට්ටුවේ හටගත් දරුණු ගින්නකින් අහිංසක බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා. රෝහලේ තුන්වන මහලේ තිබූ වායු සමීකරණ යන්ත්රයක ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවයි බලධාරීන් පවසන්නේ. අලුයම කාලයේ හටගත් මෙම ගින්න නිසා රෝහල් පරිශ්රයම දැඩි කලබලකාරී තත්ත්වයකට පත්වුණා. තම දරුවන් අහිමි වූ මව්පියන්ගේ විලාපය හමුවේ මුළු රෝහලම කඳුළු සාගරයක් බවට පත්වුණා. තමන්ගේ දින තුනක් වයසැති දියණිය අහිමි වූ පියෙක් පවසන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණීමට බොහෝ වේලාවක් ගත වූ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන අග්රාමාත්ය ෂෙබාස් ෂරීෆ් දැඩි කම්පනය පළ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත් ඔහු අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. පාකිස්තානයේ ගොඩනැගිලිවල ආරක්ෂිත ක්රමවේදයන් නිසි ලෙස ක්රියාත්මක නොවීම නිසා මෙවැනි ඛේදවාචක නිතරම වාර්තා වෙනවා. මීට පෙරත් කරච්චි නුවර ඇතුළු ප්රදේශවල සිදුවූ ගිනි ගැනීම්වලින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. රෝහලක් වැනි ස්ථානයක මෙවැනි අනතුරක් සිදුවීම රටේ ආරක්ෂක විධිවිධාන පිළිබඳව විශාල ප්රශ්නයක් මතු කර තිබෙනවා.

Discussion & Feedback