පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසුව, ඔහු නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ඔහුව රෝහලට රැගෙන ගියත්, වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු වෛද්‍යමය වශයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. හෘද රෝග විශේෂඥයන් සහ අක්ෂි වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් ඔහුව පරීක්ෂා කර තිබෙනවා.
කෙසේ වෙතත්, අධිකරණය නියෝග කළේ ඔහුව පෞද්ගලික රෝහලකට රැගෙන යන ලෙස වුවත්, ආරක්ෂක හේතූන් මත ඔහුව රජයේ රෝහලක් වෙත රැගෙන යාම මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයන් රෝහල අවට රැස්වීම නිසා මෙම වෙනස සිදු කළ බව බලධාරීන් පවසනවා. නමුත් ඔහුගේ පක්ෂය චෝදනා කරන්නේ මෙය අධිකරණ නියෝගය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමක් බවයි. 2023 වසරේ සිට දූෂණ චෝදනා මත සිරගතව සිටින ඉම්රාන් ඛාන්, තමන්ට එරෙහිව පවතින සියලු නඩු දේශපාලන පළිගැනීම් බවයි දිගින් දිගටම පවසන්නේ.
මෙම රෝහල් ගත කිරීමත් සමඟම මාස ගණනාවකට පසු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක්. ඉම්රාන් ඛාන්ගේ දෑස් පෙනීමේ දුර්වලතා ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසක් පවතින බව ඔහුගේ නීතිඥයන් දිගින් දිගටම පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, පාකිස්තාන දේශපාලනයේ තවමත් දැවැන්ත බලපෑමක් කළ හැකි චරිතයක් ලෙස ඉම්රාන් ඛාන් රැඳී සිටින අතර, ඔහුගේ සිරගත කිරීම එරට දේශපාලන කරළියේ විශාල නොසන්සුන්තාවයක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback