ලොව පුරා රසිකයන් අතර අතිශය ජනප්රිය වුණු Netflix හි ‘Outer Banks’ කතා මාලාව පසුගියදා ඉතාමත් හැඟීම්බර සහ සුවිශේෂී අවසානයක් සමඟින් සමුගත්තා. කතා මාලාවේ අවසාන වාරය ආරම්භයේ සිටම රසිකයන්ව කුතුහලයට පත් කරමින්, පළමු වාරයේ තිබූ සුළි කුණාටු දර්ශනයම නැවතත් සිහිගන්වමින් කතාව අවසන් වුණා. ජෝන් බී සහ සාරාගේ විවාහ මංගල්යය සහ ඔවුන් තම දරුවාට ආදරණීය මිතුරා වූ ජේ.ජේ. ගේ නම තැබීම රසිකයන්ගේ නෙතට කඳුළක් එක් කළ අවස්ථාවක් වුණා. විශේෂයෙන්ම මෙවර කතාවට අද්භූත සිදුවීම් සහ පළිගැනීමේ තේමාවන් එකතු කර තිබීම නිසා කතාව වඩාත් උද්යෝගිමත් වුණා.
කතා මාලාවේ නිර්මාණකරුවන් වන ජොෂ් පේට්, ජෝනාස් පේට් සහ ෂැනන් බර්ක් පවසන පරිදි, මෙම අවසානය ඔවුන් වසර ගණනාවකට පෙර සැලසුම් කළ එකක්. පෝග්ස් කණ්ඩායම අවසානයේදී රන් නිධානය සොයාගෙන, කිල්ඩෙයාර් දූපත කුක්ස් සහ පෝග්ස් යන දෙපිරිසටම සාමකාමීව ජීවත් විය හැකි පාරාදීසයක් බවට පත් කිරීම ඉතාමත් අලංකාර අවසානයක් වුණා. කතාව අවසන් වුණත්, මේ වන විට Netflix ආයතනය විසින් මෙම කතා මාලාවේ දෙමව්පියන්ගේ පරම්පරාව ගැන කියැවෙන ‘ප්රීකුවෙල්’ (Prequel) කතා මාලාවක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන් තහවුරු කළා.
මෙම නව කතා මාලාව හරහා දූපතේ පවතින පන්ති භේදය සහ කුක්ස් සහ පෝග්ස් ලෙස කණ්ඩායම් දෙකක් නිර්මාණය වූ ආකාරය ගැන ගැඹුරින් විමසා බැලීමට නියමිතයි. Outer Banks රසිකයන්ට තවමත් මෙම කතාවෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීමට සිදු නොවනු ඇති බවයි නිර්මාණකරුවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, පෝග්ස් කණ්ඩායමේ අවසාන වික්රමාන්විතය රසිකයන්ගේ මතකයේ සදාකල් රැඳෙනු නොඅනුමානයි.

Discussion & Feedback