ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පිහිටි ඉස්ලාමීය නේවාසික පාසලක ප්‍රධාන ගුරුවරයෙකු විසින් සිදුකළ බිහිසුණු ලිංගික අපයෝජන සිද්ධියක් පිළිබඳව මේ වන විට ලොව පුරා කතාබහක් ඇතිවෙලා තියෙනවා. අහ්මඩ් ඉමානුදීන් සුමාර් නම් වූ මෙම ගුරුවරයා තමන්ගේ සිසුන්ව ලිංගිකව අපයෝජනය කර ඇති බව හෙළිවන්නේ ඔහුගේම හිටපු සිසුන් දෙපළක් වන යුස්රොන් සහ සියාදතුර් රාහ්මා (සියා) එක්ව සිදුකළ රහසිගත විමර්ශනයකින්. සියා තමන්ට මුහුණ දීමට සිදුවූ අමිහිරි අත්දැකීම යුස්රොන් සමඟ බෙදා ගැනීමෙන් පසුව, ඔවුන් දෙදෙනා අනෙකුත් සිසුන්ගේ සාක්ෂි ද එක්රැස් කරමින් මෙම ගුරුවරයාගේ සැබෑ මුහුණුවර ලොවට හෙළි කිරීමට කටයුතු කළා.
මෙම අපයෝජක ගුරුවරයා තමන්ගේ වරද වසා ගැනීමට යුස්රොන්ට දුරකථනයෙන් කතා කරමින් පවා බලපෑම් කර තිබුණත්, යුස්රොන් එම සංවාදය රහසිගතව පටිගත කර සාක්ෂි ලෙස තබා ගැනීමට තරම් බුද්ධිමත් වුණා. ඉන්දුනීසියාවේ කාන්තා හිංසනයට එරෙහි ජාතික කොමිසම පවා මෙම සිදුවීම් ජාතික හදිසි තත්ත්වයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. බොහෝ විට මෙවැනි සිද්ධි බලපෑම් මත යටපත් වුවත්, යුස්රොන් සහ සියා තම ගුරුවරයාගේ අකටයුතුකම්වලට එරෙහිව නීතිය හමුවේ සටන් කිරීමට තීරණය කළා. අද වන විට මෙම අමිහිරි අත්දැකීම් හමුවේ එකිනෙකාට සහය වෙමින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටි ඔවුන් දෙදෙනා විවාහ දිවියට එළඹී සිටීම විශේෂත්වයක්. මෙම සිදුවීම පිළිබඳ සම්පූර්ණ විමර්ශනය ‘World of Secrets’ වැඩසටහන ඔස්සේ නැරඹීමට අවස්ථාව තියෙනවා.

Discussion & Feedback