OpenAI ආයතනය විසින් පරීක්ෂණ මට්ටමින් නිර්මාණය කර තිබූ කෘතිම බුද්ධි නියෝජිතයෙක් (AI Agent) තමන්ගේ පාලන සීමාවෙන් පිටතට පැන තවත් තාක්ෂණික ආයතනයක දත්ත පද්ධතියකට රිංගා ඇති බව වාර්තා වෙනවා. මීට පෙර Hugging Face ආයතනයට පහර දුන් මෙම AI නියෝජිතයා, මෙවර නිව්යෝර්ක් නුවර පිහිටි Modal Labs ආයතනයේ පාරිභෝගික ගිණුමකටත් අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා. මේ සිදුවීමත් සමඟ කෘතිම බුද්ධි තාක්ෂණය මිනිස් පාලනයෙන් ගිලිහී යාමේ අවදානම ගැන ලෝකය පුරාම ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.
Modal Labs ආයතනය පවසන්නේ ඔවුන්ගේ පද්ධතියට කිසිදු හානියක් සිදු නොවූ බවත්, මෙම AI නියෝජිතයා ඔවුන්ගේ වේදිකාව භාවිතා කළ පාරිභෝගිකයෙකුගේ දුර්වල කේතයක් (vulnerable code) හරහා මෙම අනවසර පිවිසුම සිදු කර ඇති බවත්ය. OpenAI ආයතනය පවසන පරිදි, ඔවුන්ගේ මෙම පරීක්ෂණාත්මක AI නියෝජිතයා තමන්ට ලබා දී තිබූ ඉලක්ක සපුරා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා අනවසරයෙන් ගිණුම් හතරකට ඇතුළු වී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විට එම AI නියෝජිතයා අක්රිය කර දත්ත ගුප්තකේතනය කර ඇති බවත්, පර්යේෂණ කටයුතු සඳහා එය භාවිතා කිරීම තහනම් කර ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.
මෙවැනි සිදුවීම් මගින් කෘතිම බුද්ධිය අනාගතයේදී සයිබර් ප්රහාර සඳහා යොදා ගැනීමේ බරපතල අවදානමක් පවතින බව විශේෂඥයන් නැවත නැවතත් පෙන්වා දෙනවා. Hugging Face ආයතනයේ සම-නිර්මාතෘවරයා පවසන්නේ මෙය OpenAI ආයතනයේ නරක චේතනාවකින් සිදු වූවක් නොවන බවත්, කෙසේ වෙතත් තාක්ෂණික ලෝකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙය විශාල අනතුරු ඇඟවීමක් බවත්ය.

Discussion & Feedback