කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන OpenAI සමාගම මේ වන විට තමන් සතු කොටස් බිලියන 7ක වටිනාකමකින් යුතුව තම සේවකයන්ගෙන් නැවත මිලදී ගැනීමට පියවර අරගෙන තියෙනවා. මේ පියවර හරහා සමාගමේ සේවකයන්ට තමන් සතු කොටස්වල වටිනාකම මුදල් බවට පත් කරගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ ගනුදෙනුවත් එක්ක OpenAI සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 852ක් ලෙස තක්සේරු කර තිබෙනවා. සාමාන්‍යයෙන් සමාගමක් කොටස් වෙළෙඳපොළට පිවිසීමට පෙර මෙවැනි පියවර ගැනීම සාමාන්‍ය දෙයක් වුණත්, මේ නිසා OpenAI සමාගම ඉක්මනින්ම කොටස් වෙළෙඳපොළට (IPO) පිවිසීමේ ඉඩකඩ අඩු බවයි බොහෝ දෙනා පවසන්නේ.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් පසුගිය කාලයේදී සඳහන් කර තිබුණේ පසුගිය මාස 12 සමාගමට එතරම් සාර්ථක නොවූ බවයි. නමුත් ඉදිරි මාස 12 සමාගමේ ඉතිහාසයේ හොඳම කාලය වනු ඇති බව ඔහු විශ්වාස කරනවා. දැනට සමාගම සිය අවධානය වැඩිපුරම යොමු කරන්නේ ව්‍යාපාරික මට්ටමේ සේවාවන් දියුණු කිරීමටයි. ඒ වගේම තරගකාරී සමාගම් වන Anthropic වැනි ආයතනවලින් එල්ල වන අභියෝග හමුවේ, තමන්ගේ මූල්‍ය තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමට OpenAI උත්සාහ කරන බව පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත්, මේ පියවර හරහා සමාගමේ අනාගත සැලසුම් සහ කොටස් වෙළෙඳපොළට පිවිසීම පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ඔවුන් ප්‍රකාශ කර නැහැ.

Discussion & Feedback