කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන OpenAI සමාගම විසින් ‘NextSlide’ නම් ඉදිරිපත් කිරීම් (presentations) නිර්මාණය කරන නවීන තාක්ෂණික ආයතනයක් මිලදී ගෙන තිබෙනවා. මේ වන විට NextSlide කණ්ඩායම OpenAI හා එක්ව ChatGPT සඳහා වැඩ කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. ඔවුන්ගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ඕනෑම සටහනක්, ලේඛනයක් හෝ පර්යේෂණයක් ඉතාමත් ආකර්ෂණීය සහ සංස්කරණය කළ හැකි ඉදිරිපත් කිරීම් බවට පත් කිරීමයි. මේ හරහා දෘශ්‍ය සන්නිවේදනය වඩාත් පහසු කරමින් මිනිසුන්ට තමන්ගේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
NextSlide හි නිර්මාතෘ අහමඩ් බෙෂ්රි පවසන පරිදි, ඔවුන්ගේ මෙම ගමන OpenAI සමඟ එක්වීමෙන් තවත් ශක්තිමත් වෙනවා. මිනිසුන්ට තමන්ගේ අදහස් නිර්මාණාත්මක කාර්යයන් බවට පත් කර ගැනීමට අවශ්‍ය AI මෙවලම් තැනීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි. මෙම ගනුදෙනුව සඳහා වැය වූ මුදල පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් හෙළි කර නැහැ. ඇත්තටම මෙම මිලදී ගැනීම සිදු වෙලා තියෙන්නේ මීට මාස කිහිපයකට පෙර වුණත්, ඒ පිළිබඳ නිල නිවේදනය දැන් තමයි එළියට ඇවිත් තියෙන්නේ.
මීට පෙර Caper AI වැනි සාර්ථක ආයතනවල ද කටයුතු කර ඇති බෙෂ්රිගේ මෙම නව පියවර තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා. ඉදිරියේදී ChatGPT හරහා අපිට වඩාත් පහසුවෙන් සහ ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීම් සකසා ගැනීමට හැකි වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback