පසුගිය වසරේ සූරිච් සමුළුවේදී ලෝකයේම අවධානය දිනාගත්ත කෘත්රිම බුද්ධි (AI) නිළියක් වන ටිලී නෝර්වුඩ් ගැන මේ දවස්වල ආයෙත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඇයව නිර්මාණය කරපු ‘Particle 6’ ආයතනයේ එලීන් වැන් ඩර් වෙල්ඩන් කියන විදිහට, ටිලීට තවමත් කිසිම නියෝජිතයෙක් (Agent) අවශ්ය වෙලා නැහැ. ඇයට ලැබෙන අවස්ථා ප්රමාණය හරිම වැඩියි, ඒත් සාම්ප්රදායික චිත්රපටවල රඟපාන්න ඇයව යොදවන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ නිසා සාම්ප්රදායික සිනමා කර්මාන්තයට මේ අලුත් තාක්ෂණයත් එක්ක එකතු වෙන්න බැරි වීම ගැන එලීන් යම් කනගාටුවකුත් පළ කරනවා.
මේ අතරේ ටිලී නෝර්වුඩ් වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් කිව්වේ, හොලිවුඩ් සිනමාව තවමත් AI තාක්ෂණය කොහොමද පාවිච්චි කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්න නිසා, ඇය තමන්ගේම සුවිශේෂී මාර්ගයක ගමන් කරන බවයි. දැනට ඇය ‘Misaligned’ කියන කොමඩි-ඩ්රාමා චිත්රපටයේ සහ ‘Storm Dogs’ කියන ළමා චිත්රපටයේ වැඩකටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ‘ද ලයන් කිං’ අධ්යක්ෂ රොබ් මින්කොෆ් මේ ළමා චිත්රපටයේ විධායක නිෂ්පාදකවරයා විදිහට සම්බන්ධ වෙලා ඉන්න එක ලොකු දෙයක්.
පහුගිය කාලේ පියර්ස් මෝගන්ගේ වැඩසටහනකදී ටිලී චීන භාෂාවෙන් කතා කරලා පොඩි තාක්ෂණික දෝෂයක් ඇති වුණාට, ඇය ඒක විහිළුවට අරන් තිබුණා. කොහොම වුණත්, තාක්ෂණය තවමත් දියුණු වෙමින් පවතින නිසා සමහර වෙලාවට ඇය දෙන උත්තරවල පොඩි අවුල් තියෙනවා. ඒත් Particle 6 ආයතනය පසුගිය වසරේදී හතර ගුණයකින් වර්ධනය වෙලා තියෙන නිසා, AI තාක්ෂණය ඉදිරියටත් සිනමාවේ අනිවාර්ය කොටසක් වෙන බව නම් පැහැදිලියි.

Discussion & Feedback