ඉන්දුනීසියාවේ ජාවා මුහුද හරහා ගමන් කරමින් තිබූ ‘වර්ගෝ ට්‍රාන්ස්පෝට් 8’ නමැති මගී නෞකාව අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට ලක්ව තිබෙනවා. නැගෙනහිර ජාවාහි සුරබයා සිට දකුණු කලිමන්තාන්හි බන්ජර්මාසින් බලා ගමන් කරමින් තිබූ මෙම නෞකාව සමඟ පැවති සන්නිවේදන සබඳතා පසුගිය ඉරිදා අලුයම හදිසියේම බිඳ වැටුණා. බන්ජර්මාසින් සෙවීම් සහ මුදවාගැනීමේ කාර්යාලය පවසන පරිදි, නෞකාව අවසන් වරට වාර්තා වී ඇත්තේ බන්ජර්මාසින් තොටුපළේ සිට නාවික සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයකයි.
අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ පුද්ගලයින් 240ක් පමණ ගමන් කර ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වන විට සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 115 දෙනෙකු මුදවා ගැනීමට මුදවාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබෙනවා. කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස ඉන් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. තවමත් පුද්ගලයින් 125 දෙනෙකු අතුරුදහන්ව සිටින අතර, ඔවුන් සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් පවතිනවා.
මුදවාගැනීමේ කණ්ඩායම් නෞකාව අවසන් වරට තිබූ ස්ථානය කේන්ද්‍ර කරගනිමින් නෞකා සහ හෙලිකොප්ටර් යානා යොදවා සෝදිසි කිරීම් සිදුකරනවා. මගීන්ගේ තොරතුරු තහවුරු කරගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුදවාගැනීමේ කටයුතුවලට යම් බාධාවක් එල්ල වී තිබෙනවා. අතුරුදහන් වූවන් සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ඉතා ක්‍රියාශීලීව සිදුකරන බවයි එරට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback