ස්පාඤ්ඤයේ ඊසානදිග කලාපයට බලපා ඇති අධික වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. බාර්සිලෝනා නගරයට කිලෝමීටර් 40ක් පමණ බටහිරින් පිහිටි ඔලිවෙලා ප්‍රදේශයේදී ගංවතුරට හසුවූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බේරාගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. කාලගුණ විද්‍යා අංශ විසින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඇතිවූ මෙම හදිසි ගංවතුර තත්ත්වය නිසා කටලෝනියා සහ වැලෙන්සියා කලාපවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා.
මේ වන විට ගුවන් ගමන් අවලංගු කිරීම්, දුම්රිය සේවා අත්හිටුවීම් සහ මාර්ග ජලයෙන් යටවීම් බහුලව දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම වැලෙන්සියා ප්‍රදේශයේ මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් තුළ මිලිමීටර් 70කට අධික වර්ෂාපතනයක් ලැබීම නිසා නගරයේ මෙට්‍රෝ සේවා පවා අත්හිටුවීමට සිදුවුණා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවලින් පෙනී යන්නේ වාහන ජලයේ ගිලී ඇති ආකාරය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි වෙහෙසක් දරමින් ජනතාව බේරාගන්නා ආකාරයයි. ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චෙස් පවසන්නේ මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් බවයි.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් මධ්‍යධරණී මුහුදේ උෂ්ණත්වය ඉහළ යාම මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. ගිම්හාන කාලයේදී මුහුද උරා ගන්නා අධික තාපය නිසා වායුගෝලයට විශාල තෙතමනයක් එකතු වී මෙවැනි හදිසි වැසි ඇතිවන බව ඔවුන් පවසනවා. පසුගිය වසර කිහිපය තුළ ස්පාඤ්ඤය මුහුණ දුන් දරුණුතම කාලගුණික විපර්යාසයන්ගෙන් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback