කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ බිහිසුණු සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. පසුගිය ජූලි 23 වැනිදා වරාය නගරයේ නවාතැන් ගෙන සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහර දී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්රික් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව, සැකකරුවන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා.
මෙම අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 35 සහ 43ක් වන චීන ජාතික සැකකරුවන් දෙදෙනෙකු පසුගිය අගෝස්තු 28 වැනිදා සීගිරිය පොලිස් වසමේ නවාතැන්පොළක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, මෙම අපරාධයට සම්බන්ධ තවත් ප්රධාන සැකකරුවෙකු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර, ඔහු සොයා පොලිසිය මේ වන විටත් මෙහෙයුම් ක්රියාත්මක කරනවා.
මෙම සැකකරු සොයා ගැනීමට මහජන සහය ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. සැකකරු පිළිබඳ හෝ ඔහු සැඟවී සිටින ස්ථානයක් ගැන යම් තොරතුරක් දන්නවා නම්, වහාම කොළඹ දිස්ත්රික් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත 071 859 1735 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

Discussion & Feedback