අද වගේ දවසක, ඒ කියන්නේ 2004 සැප්තැම්බර් 8 වෙනිදා, නාසා ආයතනයේ ‘ජෙනසිස්’ (Genesis) අභ්යවකාශ යානය පෘථිවියට ගොඩබෑමේදී විශාල අනතුරකට ලක්වුණා. සූර්යයාගෙන් පිටවන අංශු සාම්පල පෘථිවියට රැගෙන ඒම සඳහා දියත් කළ මේ මෙහෙයුම ඇපලෝ වැඩසටහනෙන් පසුව නාසා ආයතනය සිදු කළ පළමු සාම්පල රැගෙන ඒමේ මෙහෙයුම වුණා. පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් පමණ දුරින් පිහිටි L1 ලැග්රේන්ජ් ලක්ෂ්යයේදී සූර්ය සුළං අංශු එකතු කරගෙන ආපු මේ යානය, පෘථිවි වායුගෝලයට ඇතුළු වුණාට පස්සේ එහි තිබුණු පැරෂුට් පද්ධතිය ක්රියාත්මක වුණේ නැහැ. ඒ නිසා යානය ඉතා වේගයෙන් ඇවිත් ඇමරිකාවේ යූටා කාන්තාරයට කඩා වැටුණා.
මේ අනතුරට හේතු වුණේ යානයේ තිබුණු ගුරුත්වාකර්ෂණ ස්විච හතරක් වැරදි පැත්තට සවි කර තිබීමයි. මේ නිසා පැරෂුට් විවෘත විය යුතු මොහොතේදී ඒවා ක්රියාත්මක වුණේ නැහැ. යානය කඩා වැටීමෙන් ඇතුළත තිබුණු වටිනා සාම්පල සියල්ලම කුඩු වී ගියා. නමුත් විද්යාඥයන් ඉතා වෙහෙස මහන්සි වෙලා ඒ සුන්බුන් අතරින් යම් ප්රමාණයක සාම්පල බේරගන්න සමත් වුණා. මේ සිදුවීම අභ්යවකාශ ඉතිහාසයේ කනගාටුදායක සිදුවීමක් වුණත්, ඉන් ලැබුණු අත්දැකීම් පසුව නාසා ආයතනයේ වෙනත් මෙහෙයුම් සාර්ථක කරගන්න උදව් වුණා. අද වගේම දවසක තමයි ලෝක ප්රසිද්ධ ‘ස්ටාර් ට්රෙක්’ (Star Trek) විද්යා ප්රබන්ධ කතා මාලාවත් මුල්ම වතාවට රූපවාහිනියෙන් විකාශය වුණේ. ඒක අදටත් ලෝකයේ බොහෝ විද්යාඥයන්ට සහ අභ්යවකාශ ලෝලීන්ට ලොකු ආභාෂයක් ලබා දෙනවා.

Discussion & Feedback