1992 සැප්තැම්බර් 12 වැනිදා කියන්නේ අභ්යවකාශ ඉතිහාසයේ ඉතාමත් වැදගත් දවසක්. එදා තමයි නාසා ආයතනයේ ගගනගාමිනියක් වුණු මේ ජෙමිසන් අභ්යවකාශයට ගිය පළමු කළු ජාතික කාන්තාව විදිහට ඉතිහාසයට එක්වුණේ. ඇත්තටම නාසා ආයතනය මුල් කාලයේදී කාන්තාවන්ට සහ කළු ජාතිකයන්ට අභ්යවකාශ ගමන් සඳහා අවස්ථාව ලබා දුන්නේ නැහැ. නමුත් මේ ජෙමිසන් වැනි දක්ෂ කාන්තාවන්ගේ පැමිණීමත් එක්ක ඒ තත්ත්වය වෙනස් වුණා. ඇය ඉංජිනේරුවරියක් වගේම වෛද්යවරියක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. ඇය අභ්යවකාශයට යන්න කලින් අප්රිකාවේ වෛද්ය නිලධාරිනියක් විදිහටත් සේවය කරලා තියෙනවා.
එන්ඩෙවර් අභ්යවකාශ යානයෙන් සිදුකළ STS-47 මෙහෙයුමේදී ඇය පැය 190කට වඩා වැඩි කාලයක් අභ්යවකාශයේ ගත කළා. ඒ කාලය ඇතුළත ඇය ජපානය සහ ඇමරිකාව වෙනුවෙන් විද්යාත්මක පර්යේෂණ 44ක් සිදුකළා. ඇය කුඩා කාලයේ ඉඳලම අභ්යවකාශය ගැන ලොකු උනන්දුවක් දක්වපු කෙනෙක්. විශේෂයෙන්ම ‘ස්ටාර් ට්රෙක්’ රූපවාහිනී කතා මාලාවේ හිටපු චරිත ඇයට ලොකු ආභාෂයක් වුණා. පස්සේ කාලෙක ඇය ඒ කතා මාලාවටම රංගනයෙන් දායක වෙන්නත් වාසනාව ලැබුවා.
1993දී නාසා ආයතනයෙන් සමුගත්තට පස්සේ ඇය තමන්ගේම තාක්ෂණික උපදේශන ආයතනයක් පටන් ගත්තා. අදටත් ඇය අභ්යවකාශ ගවේෂණය දියුණු කරන්න විවිධ ව්යාපෘතිවල නිරත වෙනවා. ඇය වගේ කාන්තාවක් ලෝකයට පෙන්නුවේ අධිෂ්ඨානය තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට තරු අතරට යන්න පුළුවන් කියන එකයි. ඇය අදටත් ලෝකය පුරා ඉන්න ගොඩක් අයට ලොකු ආදර්ශයක්.

Discussion & Feedback