ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය යළිත් වරක් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ඉරාන වරායන් වෙත ඇමරිකාව විසින් නාවික අවහිරතා පැනවීම සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම නිසා මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙනවා. මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86 ඉක්මවා ගොස් ඇති අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල ද ඩොලර් 80 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.
ලෝකයේ බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින ගැටුම් තත්ත්වය තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඇමරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන අතරතුර, ඉරානය විසින් ද ජෝර්දානයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානයේ බලශක්ති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
මෙම ගැටුම් තවදුරටත් උත්සන්න වුවහොත් බොරතෙල් බැරලයක මිල ඉදිරියේදී ඩොලර් 100 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳුමක් ලැබුණහොත් තෙල් මිල යම් මට්ටමකින් පාලනය කර ගැනීමට හැකි වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. කලාපයේ පවතින මෙම අස්ථාවර තත්ත්වය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව පැහැදිලියි.

Discussion & Feedback