ලොව පුරා දැවැන්ත ආදායමක් ලැබූ ‘Obsession’ භීෂණ චිත්‍රපටයේ නිෂ්පාදිකාවක වන ලියෝනෝරා ඈන් ඩාර්බි, තමන්ට හිමි විය යුතු ලාභාංශ කොටස ලබා නොදීම සම්බන්ධයෙන් ඇයගේම සගයන් වන ජේම්ස් හැරිස් සහ මාර්ක් ලේන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. 2019 වසරේදී ‘Tea Shop Productions’ ආයතනයට එක් වූ ඩාර්බි පවසන්නේ, තමන් සමාගමේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ බවත්, විශේෂයෙන්ම අසාර්ථක වීමට ගිය ‘Obsession’ චිත්‍රපටය බේරාගෙන එය ලෝක මට්ටමේ සාර්ථකත්වයක් කරා රැගෙන යාමට තමන් මූලික වූ බවත්ය. නමුත් පොරොන්දු වූ පරිදි චිත්‍රපටයේ ශුද්ධ ලාභයෙන් තුනෙන් එකක් ලබා දීමට ඔවුන් අපොහොසත් වී ඇති බව ඇය චෝදනා කරනවා.
ඇය ගොනු කර ඇති පිටු 135ක නඩු වාර්තාවේ සඳහන් වන්නේ, වසර හතක් තිස්සේ තමන්ට සමාන අයිතිවාසිකම් ලබා නොදී, ස්ත්‍රී පුරුෂ භේදයකින් යුතුව පහත් ලෙස සැලකූ බවයි. ඩොලර් 800,000කට අඩු වියදමකින් නිපදවූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 510කට අධික ආදායමක් උපයා තිබියදීත්, තමන්ට හිමි විය යුතු මුදල් ලබා නොදීම විශාල අසාධාරණයක් බව ඇය පෙන්වා දෙනවා. මේ වන විට ඩාර්බි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ තමන්ට අහිමි වූ මුදල් සහ වන්දි ලබා දෙන ලෙසත්, සමාගමේ අනෙකුත් ව්‍යාපෘති සම්බන්ධයෙන්ද නිසි ගිණුම් විගණනයක් සිදු කරන ලෙසත්ය. මෙම සිදුවීම හොලිවුඩ් සිනමා ක්ෂේත්රයේ විශාල කතාබහකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback