ලෝකයේම අවධානය දිනාගත් මෙක්සිකෝවේ ප්රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඉස්මයෙල් ‘එල් මායෝ’ සම්බාඩාට ඇමරිකානු අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ සිනලෝවා කාටෙල් නම් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් ඇමරිකාවට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය එවීම පිටුපස සිටි ප්‍රධාන මොළකරු මොහු බවයි අධිකරණයේදී තහවුරු වුණේ. 2024 වසරේදී ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළ මෙහෙයුමකින් පසුව ඔහුව ඇමරිකාවට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සමත් වුණා. තමන් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කුමන්ත්‍රණ පිළිබඳව වරද පිළිගැනීම නිසා මරණ දඬුවමෙන් බේරීමට ඔහුට හැකි වුවත්, අවසානයේදී ඔහුට ජීවිතාන්තය දක්වා සිරගත වීමට සිදුව තිබෙනවා.
සම්බාඩා අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිනලෝවා කාටෙල් කල්ලිය තුළ විශාල අභ්‍යන්තර ගැටුම් හටගෙන ඇති අතර, එම ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට ද විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දැනට 76 හැවිරිදි වියේ පසුවන සම්බාඩා තමාගේ වයස්ගත රෝගාබාධ හේතුවෙන් බන්ධනාගාර රෝහලක රඳවන ලෙස ඉල්ලා සිටියත්, ඔහු තවමත් අනතුරුදායක පුද්ගලයෙකු බැවින් දැඩි ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයක රඳවා තැබිය යුතු බවට රජයේ නීතිඥවරුන් තර්ක කරනවා. මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇති අතර, මෙක්සිකෝ රජය ද මේ වන විට කාටෙල් කල්ලි මර්දනය කිරීමට සිය හමුදාව යොදවා තිබෙනවා.

Discussion & Feedback