නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගෙන සිදුවී ඇති අස්වැසුම සුබසාධන දීමනා වංචාව මේ වන විට රටේම කතාබහට ලක්වෙලා තියෙනවා. මේක ලංකාවේ මෙතෙක් වාර්තා වුණු විශාලතම අස්වැසුම වංචාව බවයි විමර්ශන අංශ පවසන්නේ. මියගිය වැඩිහිටියන්ගේ තොරතුරු භාවිතා කරමින් රජයේ සේවකයින් පිරිසක් අඩු ආදායම්ලාභී පවුල්වලට හිමිවිය යුතු මුදල් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ හරහා රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වංචා වී ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙම සිද්ධියට නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන රජයේ සේවකයින් 20 දෙනෙකු සම්බන්ධ බවට හඳුනාගෙන තියෙනවා. මේ වන විටත් අදාළ වංචාව සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් සිව්දෙනෙක් සහ ගුරුවරුන් හයදෙනෙක් ඇතුළු දස දෙනෙකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට අමතරව, තවත් රාජ්‍ය සේවිකාවන් දෙදෙනෙක් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 50කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත් වාර්තා වෙනවා.
සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ විගණන අංශය පසුගිය මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වමින් ඉන්නවා. මේ වංචාව නිසා පවුල් 100ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි මූලික විමර්ශනවලින් පෙනී යන්නේ. තලවකැලේ ප්‍රදේශයෙන්ද රුපියල් මිලියන 2ක පමණ වංචාවක් හඳුනාගෙන ඇති අතර, මේ පිළිබඳ අවසන් වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. මෙවැනි සිදුවීම් නිසා සැබෑ ලෙසම ආධාර අවශ්‍ය ජනතාව දැඩි අසීරුතාවකට පත්වීම කනගාටුදායක කරුණක්.

Discussion & Feedback