නෝර්වේ රාජ්‍යයේ ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ 2011 වසරේ සිදු වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 77 දෙනා සිහිපත් කිරීම සඳහා ඔස්ලෝ නුවර නව ස්මාරකයක් පසුගියදා විවෘත වුණා. 2011 ජූලි 22 වැනිදා ඇන්ඩර්ස් බ්රෙයිවික් නම් පුද්ගලයා විසින් සිදු කළ මෙම බෝම්බ ප්‍රහාරය සහ වෙඩි තැබීමෙන් වැඩිපුරම ජීවිතක්ෂයට පත්වුණේ උටෝයා දූපතේ පැවති තරුණ කඳවුරක සිටි දරුවන්. මේ සිදුවීමට වසර 15ක් පිරීමට ආසන්නව තිබියදී, මියගිය අයගේ පවුල්වල උදවිය සහ දිවි ගලවා ගත් පිරිස එක්ව මෙම ස්මාරකය එළිදැක්වීම සිදු කළා.
‘Upholding’ ලෙස නම් කර ඇති මෙම කලාත්මක නිර්මාණය, උටෝයා දූපතට ආවේණික කුරුල්ලෙකුගේ රුවක් සහ ගල් පුවරු මගින් නිර්මාණය කර තිබෙනවා. මියගිය 77 දෙනාගේම නම් එහි කැටයම් කර ඇති අතර, එය ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටීමේ සංකේතයක් ලෙසයි සැලකෙන්නේ. මෙම අවස්ථාවට නෝර්වේ ඔටුන්න හිමි හකොන් කුමරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. ප්‍රහාරය සිදු කළ බ්රෙයිවික් මේ වන විටත් සිරදඬුවම් විඳිමින් සිටින අතර, ඔහු තවමත් සමාජයට තර්ජනයක් බව අධිකරණය මීට පෙර තීන්දු කර තිබෙනවා.
මෙම ස්මාරකය මගින් හුදෙක් මියගිය අය සිහිපත් කිරීම පමණක් නොව, අන්තවාදී මතවාදයන්ට එරෙහිව ප්රජාතන්ත්රවාදී ශක්තිය පෙන්වීමත් අරමුණු කරගෙන තිබෙනවා. ප්‍රහාරය සිදු වූ ස්ථානයට ආසන්නයේම ඉදිකර ඇති මෙම ස්මාරකය, අනාගත පරපුරටත් මේ අඳුරු අතීතය සිහිපත් කර දෙනු ඇති.

Discussion & Feedback