FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සහ නෝර්වේ අතර පැවති අතිශය තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයේදී වාර්තා වුණු එංගලන්තයේ සම කිරීමේ ගෝලය සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. නෝර්වේ කණ්ඩායමේ පුහුණුකරු ස්ටාලේ සොල්බකන් පවසන විදිහට, ජූඩ් බෙලින්හැම් ගෝලය ලබා ගැනීමට මොහොතකට පෙර පන්දුව ඉහළින් තිබූ කැමරා කේබලයක වැදී තිබෙනවා. ගෝල රකින ක්‍රීඩක ඔර්ජන් නයිලන්ඩ් පන්දුව ඉහළට එල්ල කළ අවස්ථාවේදී එය අසාමාන්‍ය ලෙස දිශාව වෙනස් කරමින් පහළට වැටුණු බවත්, ඒ නිසාම එංගලන්තයට එම ගෝලය ලබා ගැනීමට අවස්ථාව ලැබුණු බවත් ඔහු තරයේ ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් FIFA ආයතනය පවසන්නේ පන්දුව තුළ සවිකර තිබෙන චිප් එකේ දත්ත පරීක්ෂා කිරීමේදී පන්දුව කැමරා කේබලයක ගැටුණු බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවයි. තරගයේ විනිසුරු ක්ලෙමන්ට් ටර්පින් ද පවසා ඇත්තේ තමන්ට එවැනි දෙයක් සිදු වූ බවට කිසිදු තොරතුරක් නොලැබුණු බවයි. නීතියට අනුව පන්දුව පිටතින් තිබෙන බාධකයක වැදුණහොත් තරගය නතර කළ යුතු වුවත්, FIFA තීරණය අනුව එම ගෝලය වලංගු බව තහවුරු වුණා.
තමන්ට අසාධාරණයක් සිදු වූ බව හැඟුණත්, සොල්බකන් පවසන්නේ පාපන්දු ක්‍රීඩාවේදී මෙවැනි දේවල් සාමාන්‍ය බවයි. මීට පෙර බ්‍රසීලය සමඟ පැවති තරගයේදී වාසනාව තමන් පැත්තේ තිබූ බවත්, මේ තරගයේදී එය එංගලන්තය පැත්තට හැරුණු බවත් ඔහු අවසානයේ පිළිගත්තා. අවසානයේදී එංගලන්තය 2-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

Discussion & Feedback