රුසියාව සහ උතුරු කොරියාව අතර දේශසීමාව යා කරමින් ටුමන් ගංගාව හරහා ඉදිකළ ප්‍රථම මහා මාර්ග පාලම මේ වන විට නිල වශයෙන් විවෘත කර තිබෙනවා. රුසියාවේ කසාන් සහ උතුරු කොරියාවේ රාසන් නගර සම්බන්ධ කරන මෙම පාලම දෙරට අතර වෙළඳාම, සංචාරක කටයුතු සහ මගී ප්‍රවාහනය පහසු කිරීම සඳහා ඉදි කළ බවයි දෙරටේම බලධාරීන් පවසන්නේ. දිනකට වාහන 300ක් සහ පුද්ගලයින් 2,300කට අධික පිරිසකට ගමන් කළ හැකි මෙම පාලම දෙරට අතර පවතින මිත්‍රත්වයේ නව සංකේතයක් ලෙස රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින් හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම පාලම පිටුපස සැඟවුණු හමුදාමය අරමුණක් පවතින බවට ජාත්‍යන්තර විචාරකයින් සහ යුක්රේන බුද්ධි අංශ අනතුරු අඟවනවා. විශේෂයෙන්ම යුක්රේන යුද්ධය සඳහා රුසියාවට අවශ්‍ය අවි ආයුධ, මිසයිල සහ උතුරු කොරියානු හමුදා භටයින් රහසිගතව ප්‍රවාහනය කිරීම සඳහා මෙම පාලම ප්‍රධාන සැපයුම් මාර්ගයක් ලෙස භාවිත වනු ඇති බවටයි ඔවුන් සැක පළ කරන්නේ. මීට පෙර දෙරට අතර පැවතියේ දුම්රිය මාර්ගයක් පමණක් වන අතර, නව පාලම හරහා දෙරට අතර ආර්ථික සහ හමුදාමය සබඳතා පෙර නොවූ විරූ මට්ටමකට වර්ධනය වනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
දැනටමත් උතුරු කොරියානු ශ්‍රමිකයින් දසදහසකට අධික පිරිසක් රුසියාවේ සේවය කරන අතර, මෙම පාලම හරහා එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සම්බාධක මධ්‍යයේ වුවද දෙරට අතර මෙවැනි දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback