ලංකාවේ බල්ලන් ඇති කරන අයට අලුත් නීතියක් ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ අනුව තමන්ගේ බල්ලන්ව වාර්ෂිකව එන්නත් කරලා අනිවාර්යයෙන්ම ප්රාදේශීය සභාවේ ලියාපදිංචි කරන්න ඕනේ. මේ පනත ගේන්නේ රටේ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම නැති කරන්න සහ බල්ලන්ගේ ගහනය පාලනය කරන්නයි. සති හයකට වඩා වැඩි වයසැති ඕනෑම බල්ලෙක් සඳහා මේ නීතිය අදාළ වෙනවා. එන්නත් කරලා ලියාපදිංචි වුණාම ඔයාලට ඒ සඳහා සහතිකයක් ලැබෙනවා. මොනවා හරි හේතුවක් නිසා ඔයාලා මේ දේවල් කරලා නැත්නම්, නිලධාරීන් ඇවිත් ඇහුවම දවස් 14ක් ඇතුළත ඒක සම්පූර්ණ කරන්න කාලය දෙනවා. එහෙම කරලත් නැත්නම් රුපියල් 2000ක දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා.
මේ පනතේ තව වැදගත් කරුණු ගොඩක් තියෙනවා. පාරේ ඉන්න බල්ලන්ව වඳ සැත්කම් කරලා ආයෙත් ඒ ඉන්න තැන්වලටම මුදා හරින්නත්, බල්ලන්ව පාරේ දාලා යන අයට රුපියල් 10,000ක දඩයක් හෝ මාස තුනක හිර දඬුවමක් දෙන්නත් මේ පනතේ යෝජනා කරලා තියෙනවා. ඒ වගේම බල්ලෙක් කාට හරි හෝ වෙනත් සතෙක්ට පහර දීලා හානියක් වුණොත් ඒකට අයිතිකාරයා වගකියන්න ඕනේ. වාණිජ මට්ටමින් බල්ලන් අභිජනනය කරන අයටත් බලපත්ර අනිවාර්ය කරලා තියෙනවා. මේ පනත තවම පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනේ. ඒ නිසා බල්ලන් ඇති කරන අය මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්.

Discussion & Feedback