පසුගිය ඉරිදා කහටගස්දිගිලියේ පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ රටේ මහජන මුදල් කොල්ලකෑ කිසිවෙකුටත් නීතියෙන් ගැලවීමට ඉඩක් නොලැබෙන බවයි. දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීන ආයතන හරහා මේ පරීක්ෂණ සිදුවන බවත්, හොරුන්ට නැවත පාර්ලිමේන්තුවට ඒමට ඉඩ නොතබන දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බවත් ඔහු අවධාරණය කළා. විශේෂයෙන්ම විදේශගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 70කට අධික පිරිසක් මේ වන විටත් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වී තිබෙනවා.
එමෙන්ම, රටින් පිටතට ගෙන ගොස් ඇති ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ කැබිතිගොල්ලෑව ජල ව්‍යාපෘතිය සහ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය වැනි දැවැන්ත ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි. මීට අමතරව, මිනිසා සහ අලි අතර ගැටුම අවම කිරීම සඳහා වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් දහස් ගණනක් අලුතින් බඳවා ගැනීමටත් පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන ක්ෂේත්රයේ විශාල වෙනසක් ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බවත්, දරුවන්ට ලෝක මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. රජයට කිසිදු තර්ජනයක් නොමැති බවත්, ජාතික ජන බලවේගයේ මෙම රැලිය රටේ ආර්ථික හා සමාජීය පරිවර්තනයක් වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමේ අරමුණින් සිදුකරන බවත් ඔහු අවසාන වශයෙන් සඳහන් කළා.

Discussion & Feedback