නයිජීරියාවේ විවිධ ප්‍රදේශවලදී සන්නද්ධ කණ්ඩායම් විසින් පැහැරගෙන ගොස් සිටි පුද්ගලයන් 308 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් සාර්ථක මෙහෙයුමකින් පසුව බේරාගෙන තිබෙනවා. නයිජර් සහ ක්වාරා ප්රාන්තවලදී පැහැරගත් මෙම පිරිස නයිජර් ප්‍රාන්තයේ කයින්ජි විල් ජාතික වනෝද්‍යානය තුළ රඳවා සිටියදීයි මෙලෙස මුදාගෙන ඇත්තේ. මෙය නයිජීරියානු ඉතිහාසයේ එකම දිනකදී සිදුකළ විශාලතම සහ සාර්ථකම මුදාගැනීමේ මෙහෙයුම ලෙසයි එරට ජනාධිපති කාර්යාලය පවසන්නේ. හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇති අතර, මේ වන විට මුදාගත් පිරිසට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඔවුන්ව නැවත පවුල් වෙත භාර දීමට කටයුතු කරමින් පවතිනවා.
පැහැරගත් පිරිස අතර පසුගිය පෙබරවාරි මාසයේ ක්වාරා ප්‍රාන්තයේ වොරෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයකින් පැහැරගත් 163 දෙනෙකුද ඇතුළත් වනවා. එම ප්‍රහාරය එල්ල කළේ බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම බවටයි රජය සැක පළ කරන්නේ. මෙම අන්තවාදීන් ගම්වාසීන්ට බලපෑම් කර තිබුණේ රජය සහ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ මතවාද පිළිගන්නා ලෙසයි. කෙසේ වෙතත්, නයිජීරියාවේ උතුරු-මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල මෙවැනි පැහැරගැනීම් සහ ප්‍රහාර බහුල වීමත් සමඟ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා. මීට සති කිහිපයකට පෙරද පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් මෙලෙස මුදාගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.

Discussion & Feedback