මෙක්සිකානු ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නයිජීරියාවේ ලාගෝස් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පසුගිය මාසයේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ආටුරෝ කරේරා ලොයිසා නම් මේ පුද්ගලයා රටින් පිටවීමට උත්සාහ කරන අතරතුරයි මෙලෙස අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ. මොහු මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළත්, ඔහු සතුව තිබූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වපු නයිජීරියානු බලධාරීන්ට එබෝනි ප්‍රාන්තයේ තිබී දැවැන්ත මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් සොයාගන්න පුළුවන් වුණා. එහිදී රසායනික ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තියෙනවා.
මෙම සිදුවීමත් එක්ක පසුගිය මාස හතර ඇතුළත මෙක්සිකානු ජාතිකයන් සම්බන්ධ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර තුනක්ම නයිජීරියාවෙන් සොයාගන්න ලැබීම විශේෂත්වයක්. නයිජීරියාවේ මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය පවසන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නයිජීරියාවේ දුරස්ථ වනාන්තර සහ ග්‍රාමීය ප්‍රදේශ තම නිෂ්පාදන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට උත්සාහ කරන බවයි. කෙසේ වෙතත්, නයිජීරියාව එවැනි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වීමට ඉඩ නොදෙන බවත්, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවත් බලධාරීන් අවධාරණය කරනවා. කෘතිම මත්ද්‍රව්‍ය ඕනෑම තැනක පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි නිසා මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීම විශාල අභියෝගයක් වෙලා තියෙනවා.

Discussion & Feedback