දශක හතරකට ආසන්න කාලයකට පසුව ෆින්ලන්තය සහ ස්වීඩනය අතර මගී දුම්රිය සේවයක් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය සඳුදා අලුයම ෆින්ලන්තයේ ඔවුලු නගරයෙන් පිටත් වූ මෙම ද්විත්ව තට්ටුවේ දුම්රිය, දේශසීමාව හරහා ස්වීඩනයේ හපාරන්ඩා දුම්රිය ස්ථානයට ළඟා වූයේ දෙරටේම ජනතාවගේ උණුසුම් පිළිගැනීමක් මැදයි. 1980 සහ 90 දශකවලදී මගීන්ගේ අඩුවීම සහ දුම්රිය මාර්ගවල තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙම සේවාව අත්හිටුවා තිබුණා. ෆින්ලන්තයේ දුම්රිය මාර්ග රුසියානු ප්රමිතියට අනුව පළලින් වැඩි නිසා, යුරෝපීය ප්රමිතියට ගැලපෙන පරිදි ඒවා වෙනස් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
දිනකට දෙවරක් ක්රියාත්මක වන මෙම නව දුම්රිය සේවය නිසා ෆින්ලන්තයේ උතුරු දෙසින් පිහිටි කොලාරි සිට පෘතුගාලයේ ඇල්ගාර්වේ දක්වා කිලෝමීටර් 5,000ක පමණ දුරක් දුම්රියෙන් ගමන් කිරීමේ හැකියාව දැන් උදාවී තිබෙනවා. මෙය යුරෝපයේ පවතින දීර්ඝතම දුම්රිය ගමන් මාර්ගය ලෙස සැලකෙනවා. එපමණක් නොව, හෙල්සින්කි සහ ස්ටොක්හෝම් අගනගර දෙක අතර පැය 24ක දුම්රිය ගමනක් යාමටත් මගීන්ට අවස්ථාව ලැබෙනවා. යුරෝපය පුරා දුම්රිය ගමන් බිමන්වලට නැවතත් විශාල ඉල්ලුමක් ලැබෙමින් පවතින බවත්, මෙම සේවාව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බවත් බලධාරීන් පවසනවා. මෙම නව සම්බන්ධතාවය සංචාරකයන්ට මෙන්ම දෙරටේ ජනතාවටත් විශාල පහසුවක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback