පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, සැකසූ දියර කිරි සඳහා අලුත් ආරක්ෂිත ප්රමිතීන් මාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව, ඉදිරි 2027 වසරේ ජනවාරි 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, වෙළඳපොලේ අලෙවි කරන හෝ බෙදාහරින සියලුම සැකසූ දියර කිරි වර්ග සඳහා දැඩි නීති රීති පැනවීමටයි පියවර ගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම කිරිවල අඩංගු විය හැකි ඇෆ්ලටොක්සින් (aflatoxin) මට්ටම කිලෝග්රෑමයකට මයික්රොග්රෑම් 0.5කට වඩා අඩු විය යුතු බවට මෙහිදී අවධාරණය කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති 98 වැනි නියෝගයට අනුව, සියලුම දියර කිරි නිෂ්පාදන SLS 1815 ප්‍රමිතියට අනුකූල විය යුතුයි. මෙම නියමිත සීමාව ඉක්මවා යන කිසිදු දියර කිරි නිෂ්පාදනයක් මෙරට තුළ නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගැනීමට නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට සහ වෙළඳුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙනවා.
එම නිසා, නියමිත දිනට පෙර අදාළ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස සියලුම පාර්ශ්වයන්ට දැනුම් දී තිබෙනවා. පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ ආරක්ෂිත කිරි නිෂ්පාදන ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, මෙම නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ වෙළඳපොලේ ඇති දියර කිරිවල තත්ත්වය වඩාත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback